ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික ප්‍රමාණයක් සහ ධීවර යාත්‍රා 12ක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම උතුරු මැද නාවික විධානයට අනුබද්ධ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් සිදු කරන ලදී. එහිදී නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර පසුවන මන්නාරම සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ධීවර යාත්‍රා 12ක් සමඟින් වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
















