මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම උදෙසා ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ HNB ටවර් හි 7 වන මහලේදී අද (07) නිල වශයෙන් විවෘත කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින්, බැංකුවලට ඉදිරිපත් කිරීමට ඇප නොමැති ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ඇපකාර පත්‍ර නිකුත් කරනු ලබයි.
පසුගිය මාස 15 තුළ ව්‍යවසායකයන් වෙනුවෙන් නිකුත් කළ 2,000 වැනි ඇපකර පත්‍රයද මෙහිදී සංකේතාත්මකව ප්‍රදානය කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය හරහා මේ වන විට ව්‍යවසායකයන් වෙත රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම් ප්‍රමාණයක් ලබා ගැනීමට මඟ සැලසී තිබේ. මෙහි වැඩිම ප්‍රතිලාභ බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට හිමිව ඇති අතර, සමස්ත ණයවලින් 20%ක් කාන්තා හිමිකාරිත්වය සහිත ව්‍යාපාර සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, “ලංකාවේ මේ වගේ දේවල් කරන්න බැහැ” කියූ මතය බිඳ හෙළමින් මෙම ඇප රහිත ණය ක්‍රමය සාර්ථක වී ඇති බවයි. ව්‍යවසායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය ඉදිරියේදී නව සංවර්ධන බැංකුවක් (Development Bank) සහ ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
















