ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු යටිතල පහසුකම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පොදු උණුසුම් පිහිනුම් තටාකය (Heated Swimming Pool) බණ්ඩාරවෙලදී ඉදිකිරීම් කටයුතු අද (07) ආරම්භ කෙරුණි. ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ රුපියල් 144,191,250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ.
මෙහි මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කියා සිටියේ, තරුණ පිරිස් අපරාධවලින් මුදවා ක්‍රීඩාව වෙත යොමු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි. “හිරකරුවන් බිහි කරනවා වෙනුවට, අපට අවශ්‍ය කරන්නේ රටට දායකත්වයක් දිය හැකි විනයගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කරන්නයි” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය. ග්‍රාමීය ප්‍රජාවන්ගේ ක්‍රීඩකයන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය කිරීමට මෙවැනි නවීන පහසුකම් සැපයීම රජයේ ප්‍රමුඛතාවක් බවද හෙතෙම පැවසීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















