NDB බැංකුවට අදාළව අනාවරණය වූ වංචාවෙන් අහිමි වූ මුදල් සහ ඩිජිටල් වත්කම් යළි ලබාගැනීම සඳහා ඉන්දියානු Deloitte Touche Tohmatsu India LLP ආයතනයේ සහාය ලබාගෙන තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත NDB බැංකුව සිදුකළ දැනුම්දීමකට අනුව, Deloitte Touche Tohmatsu India LLP විසින් සිදුකළ විගණන පරීක්ෂණයෙන් වංචාවට අදාළ මුදල රුපියල් 13,639,664,684ක් බව තහවුරු කර තිබෙනවා.
එය පසුගිය ජුනි මාසයේ නිකුත් කළ අතුරු වාර්තාවක සඳහන් වූ රුපියල් 13,579,664,684ක මුදලට සාපේක්ෂව රුපියල් මිලියන 60ක වැඩිවීමක් බවයි බැංකුව සඳහන් කරන්නේ.
අමතරව හඳුනාගත් රුපියල් මිලියන 60ක මුදල අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව ගිණුම්ගත කිරීමට කටයුතු කරන බවද NDB බැංකුව දැනුම්දී තිබෙනවා.
මෙම සිද්ධිය වැදගත් පාඩමක් ලෙස සලකා බැංකුවේ අනුකූලතා සහ පාලන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද NDB බැංකුව පවසනවා.
වංචාව අනාවරණය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා ලබාදුන් නිර්දේශ සහ උපදෙස් අනුව අධිකරණ විගණන පරීක්ෂණය සිදුකිරීම සඳහා Deloitte සමාගම පත් කළ බවද බැංකුව සඳහන් කරනවා.
මේ අතර, NDB බැංකුවේ කොටස් හිමිකරුවන් අතර සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ද සිටින බව සඳහන්.
















