ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය අගයමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කළ “නීල නුවන්” ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) එම සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වෛද්‍යසේකර මහතා වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරම ගීතය නමැති ඖෂධයෙන් රසික හදවත් සුවපත් කළ ජාතික සම්පතක් බවයි.
ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු උපහාරයට ලක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආචාර්ය නන්දා මාලිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක යන ප්‍රවීණයන් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි. “නීල නුවන් මානෙල් මල්” සහ “සතුට විලයි සැපත මලයි” වැනි අමරණීය ගීත රැසක් ගායනා කළ වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන්ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි. එතුමා මීට පෙර “සංගීතාභිමානී” රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අතර, මෙම ප්‍රසංගයේදී එතුමාගේ කලා මෙහෙවර අගයමින් සමරු ඵලක ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත “සියවසක සිහනඳ” ග්‍රන්ථය ජනගත කිරීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා අතින් සිදු වූ අතර එහි පිටපතක් දේවානන්ද වෛද්‍යසේකර මහතාටද පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක, ජානක වික්‍රමසිංහ සහ ඉන්ද්‍රානි පෙරේරා වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.














