ලෝකවාසී බෞද්ධ ජනතාව අතිඋත්තම ලෙස සලකන සිදුහත් කුමරුන්ගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය මෙවර මැයි 30 වැනිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් ලක්වාසී බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන අතර, ශ්‍රී ලංකා පොලීසිය ද සංස්කෘතික අනන්‍යතාවන් සහ ආගමික සහජීවනය සුරැකීම වෙනුවෙන් දීර්ඝ ඉතිහාසයක සිට සුවිශේෂී දායකත්වයක් සපයනු ලබයි.
වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ‘පොලිස් වෙසක් කලාප’ සහ දන්සල් සංවිධානය කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. එමෙන්ම, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුත් සුමධුර ධර්ම දේශනාවක් අද (28) පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. සුවිශේෂී කටයුත්තක් ලෙස ශ්‍රී ලංකා පොලිස් තූර්ය වාදන අංශයේ සංගීත සංයෝජනයෙන් සහ මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘පොලිස් වෙසක් බැති ගී ප්‍රසංගය’ ලබන ජුනි මස 01 වැනි දින පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
වෙසක් සතිය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන වෙසක් කලාපවල මහජන ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන තදබදය පාලනය කිරීම සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පැය 24 පුරාම සේවයේ නිරත වෙති. තමන්ගේ හිතමිතුරන් සමඟ වෙසක් සැමරීම පසෙකලා මහජනතාවට නිදහසේ වෙසක් අසිරිය විඳීමට ඉඩ සැලසීම තුළින් පොලිස් නිලධාරීන්ගේ පරාර්ථකාමී ගුණය පිළිඹිබු වන අතර, පොලීසිය සිදු කරන මෙම කැපවීම ප්‍රතිඵලදායක වීමට නම් පුරවැසියන් ද සමාජ වගකීමකින් යුතුව漸 ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසිය සිහිපත් කරයි.
















