පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ලූනු කිලෝ 227ක තොගයක් අපවිත්‍ර කානු ජලයෙන් සෝදා අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පවතින නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.
මීගමුව, තලාදූවේ පදිංචි මෙම සැකකරු, තලාදූව අගරදගුරු නිකුලස් මාකස් මාවතේදී මෙම ලූනු තොගය විකිණීම සඳහා තබා තිබියදී සහ කානු ජලයෙන් ලූනු සෝදමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇත. ලැබුණු තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් මෙම ලූනු තොගය තම භාරයට ගෙන ඇති අතර, සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටීමට දින ලබා දී තිබුණද ඔහු එසේ නොකර අධිකරණය මඟහැර සිටීම නිසා මෙම නියෝගය ලබා දී ඇත.
මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යූ.කේ. ගුණරත්න සහ තලාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක කසුන් සමරකෝන් යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
















