මීගමුව බන්ධනාගාරයේ පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරයි.
ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය සුජීව වික්‍රමනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන ලදී. එම පරීක්ෂණ අනුව මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති අතර, මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇත. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28ක් අතරින් 24 දෙනෙකුගේ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඥාතීන්ට භාර දී ඇති අතර, ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ අතර, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය මගින් ලබා දෙන ලෙසත් නියෝග කර ඇත.
ප්රචණ්ඩ ගැටුමෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස සැලකෙන බැවින් එහි රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බව බන්ධනාගාර පරිපාලනය සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර ඇත. හානි වූ දේපළ පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් පවසති.
















