මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහතා අද (30) මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
පස්වරු 1.00 සිට 3.00 දක්වා ලබාදුන් මෙම සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු අඩංගු බැවින්, එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව පවසමින්, එහි අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසත් සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ සිට මීගමුවට පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනෙකු පිළිබඳ වාර්තාවක් සහ කොළඹ ජාතික රෝහලේ හා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.














