නේපාලයේ රාසුවා ප්‍රදේශයේ භෝටේකොෂි සහ ත්‍රිශූලි ගංගාවල ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගසාගෙන ආ බැංකු සේප්පුවක් කඩා එහි තිබූ නේපාල රුපියල් ලක්ෂ 92 කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 20) අධික මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකු ධාඩිං දිස්ත්‍රික් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධාඩිං දිස්ත්‍රික්කයේ ගල්ඡී ග්‍රාමීය නගර සභාවට අයත් බෙල්ඛු ඛෝලා ප්‍රදේශයේ ත්‍රිශූලි ගං ඉවුරේ රැඳී තිබී මෙම සේප්පුව ප්‍රදේශවාසීන්ට හමුවී ඇති අතර, පසුව එය බලහත්කාරයෙන් කඩා දමා එහි තිබූ මුදල් බෙදාගෙන ඇත. ලත් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී නේපාල රුපියල් 92,68,505 ක මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගල්ඡී, සිද්ධලේක්, චිට්වාන් සහ පර්සා යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 49 ත් අතර පසුවන පිරිසක් වන අතර, පවන් පවුඩෙල්, වීර් බහදූර් රානා, බිනෝද් ගිරි සහ නවරාජ් භෙටුවාල් වැනි පුද්ගලයින්ද ඊට ඇතුළත් වෙති. අදාළ සේප්පුවේ මුල් තැන්පත් කර තිබූ සමස්ත මුදල් ප්‍රමාණය සහ අත්අඩංගුවට ගත් මුදල්වල නීත්‍යානුකූල මූලාශ්‍රය පිළිබඳව ධාඩිං දිස්ත්‍රික් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















