නේපාලයේ සහ ටිබෙටයේ දැඩි විනාශයක් සිදුකළ හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) විසින් සවිස්තරාත්මක ඇගයීම් වාර්තාවක් නිකුත් කර තිබේ. ගංගා පද්ධති වෙත ගසාගෙන ආ සුන්බුන් හේතුවෙන් ඉදිරියේදී තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එම වාර්තාව මගින් විශේෂඥයෝ අනතුරු අඟවති.
විශේෂයෙන්ම ට්‍රිෂුලි (Trishuli) ගඟේ පටු කොටස්වල තාවකාලික අවහිරතාවක් ඇති වී තිබේද යන්න පිළිබඳව තමන් මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් විශේෂඥයෝ පවසති. යම් හෙයකින් එවැනි අවහිරතාවක් ඇති වී ඇත්නම්, නායයෑමක් හේතුවෙන් ස්වභාවික වේල්ලක් (landslide dam) නිර්මාණය වීමේ සහ ඉන් දෙවන වරටත් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. එවැනි අවහිරතා ඇති වීමේ හැකියාවක් පවතී නම්, ඒවායේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව පිළිබඳව කඩිනමින් තවදුරටත් ඇගයීම් සිදු කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටී.













