මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මියගොස් සතියකට පසු, චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් යළි පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබේ. රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් නේපාල රජයේ ආරංචි මාර්ග දෙකක් මේ බව තහවුරු කර ඇත.
චීන දේශසීමාව අසල කඳු වැටි හරහා මඩ, ජලය සහ ගල් කැබලි රැගත් විශාල ග්ලැසියර් කඩා වැටීමක් සිදුවූ නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ (Timure) දේශසීමා ජනාවාසයේ මෙම නව උපකරණ සවි කිරීමට නියමිතය. මෙම ව්‍යසනයෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 1,114 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 4,000කට ආසන්න පිරිසක් අස්ථානගතව සිටිති. ජංගම දුරකථන ජාල අක්‍රිය වූ අවස්ථාවලදීද අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතිශය කුඩා විවර ටර්මිනලය (VSAT) නම් සැටලයිට් පද්ධතියක් මෙහිදී මූලික වශයෙන් භාවිතා කිරීමට නේපාල ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) සැලසුම් කර ඇත.
















