තමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් (Prostate Cancer) පීඩා විඳි බවත්, සාර්ථක ප්‍රතිකාර මගින් එය දැන් සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද (24) ප්‍රකාශ කළේය. මෑතකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකටත් වඩා අඩු ප්‍රමාණයේ කුඩා ලපයක් සොයාගෙන තිබූ බවත්, එය ඉතා මුල් අවධියේ පැවති මාරාන්තික පිළිකා තත්ත්වයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ පිළිකා ගෙඩිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ඉලක්කගත ප්‍රතිකාර ලබා දී ඇති අතර, මේ වන විට ශරීරය තුළ රෝගයේ කිසිදු සලකුණක් නොමැති බව අගමැතිවරයා තහවුරු කර ඇත.
වෛද්‍ය වාර්තාව ප්‍රමාද කිරීමට හේතුව
නෙතන්යාහු අගමැතිවරයාගේ වාර්ෂික වෛද්‍ය වාර්තාව නිකුත් කිරීම මාස දෙකකින් පමණ ප්‍රමාද වී තිබූ අතර, ඊට හේතුව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය. පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය වැනි සතුරු රටවල් මෙම තොරතුරු වැරදි ප්‍රචාර (Propaganda) සඳහා යොදාගැනීමේ අවදානමක් පැවති බැවින්, ආරක්ෂක හේතූන් මත එය රහසිගතව තබා ගැනීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
මෙම හෙළිදරව්වත් සමඟ 76 වැනි වියේ පසුවන බෙන්ජමින් නෙතන්යාහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති අතර, ඔහු දැනට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කර ඇත.














