හමාස් සංවිධානය “සැබෑ ලෙසම” නිරායුධ වන තෙක් (disarmed) කිසිදු හමුදා ඉවත් කර ගැනීමක් සිදු නොවන බව පවසමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරය සඳහා ඉදිරිපත් කරන ලද ලකුණු 15කින් යුත් සාම සැලැස්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරිදා පැවති කැබිනට් රැස්වීමක් අමතමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ඊශ්‍රායල හමුදා කිසිදු පසුබැසීමක් සිදු නොකරන බවත්, හමාස් සංවිධානය මුළුමනින්ම නිරායුධ වන තුරු සිය රටේ පුරවැසියන්ට එල්ල වන තර්ජන මැඩලීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවයි. ගාසා තීරයේ සාමය සහ ප්‍රතිසංස්කරණය අරමුණු කරගනිමින් මීට පෙර ඉදිරිපත් වූ මෙම සැලැස්ම යටතේ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම සහ හමාස් සංවිධානය නිරායුධ කිරීම අපේක්ෂා කෙරුණද, දක්ෂණාංශික සන්ධානයේ දැඩි බලපෑම් සහ ඉදිරි මැඩලීම් හමුවේ නෙතන්යාහු මෙම දැඩි ස්ථාවරය ගෙන තිබේ.













