දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට පැමිණීම නිසා වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.
නායයෑම් අවදානම සහ ගංගා පිටාර ගැලීම සම්බන්ධයෙන් කෑගල්ලේ කොට්ඨාස 6ක් වන මාවනැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල සහ රඹුක්කන යන ප්‍රදේශවලටත්, රත්නපුරේ කොට්ඨාස 3ක් වන ගොඩකවෙල, රත්නපුර සහ කලවාන යන ප්‍රදේශ සඳහාත් අවදානම් නිවේදන නිකුත් කර ඇත. කළු ගඟේ ජල මට්ටම මීටර් 5.2 දක්වා ඉහළ යාම නිසා රත්නපුර පහත්බිම්වලට ගංවතුර අවදානමක් පවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කෝරළේ සහ කොත්මලේ බටහිර යන කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එසේම නෙළුව ලංකාගම ප්‍රදේශයට ලැබුණු මිලිමීටර් 58ක වර්ෂාවත් සමඟ ගිංගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් එම ප්‍රදේශයේ ස්ථානගත කිරීමට ද පියවර ගෙන ඇත.
ජලාශවල තත්ත්වය සලකා බැලීමේදී මධ්‍යම කඳුකරයට ඇද හැලෙන තද වැසි නිසා මාවුස්සාකැලේ සහ කාසල්රී යන ප්‍රධාන ජලාශ මේ වන විට පිටාර මට්ටමේ පවතින බව වාර්තා වේ. දකුණ සහ වයඹ පළාත්වල ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර කිරිඳි ඔයටත්, වෙහෙරගල වාන්දොරටු 6ක් විවෘත කර මැණික් ගඟටත් ජලය මුදාහැරෙන අතර පුත්තලම තබ්බෝව ජලාශයේ වාන්දොරටු 6ක් ද අඩි 2 බැගින් විවෘත කර තිබේ. අනුරාධපුර නාච්චාදූව ජලාශයේ වාන්දොරටු 4ක් විවෘත කිරීමෙන් මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ජනතාව අවදියෙන් සිටිය යුතු අතර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කර තත්පරයට ඝන අඩි 3000ක ජල ධාරාවක් මහවැලි ගඟට මුදාහරිනු ලබයි.
ඊයේ උදෑසන 6.00 වන විට දිවයිනේ වැඩිම වර්ෂාපතනය කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 204ක් ලෙස සටහන් විය. මේ හේතුවෙන් කොළඹ අවට පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ආපදා කළමනාකරණ ඒකක සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා හා ජලාශ අවට පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.














