අභියෝග මැද ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ 70 වසරක ප්‍රගතිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka) “NEUROSURG 2026” පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට වසර 70ක් සපිරෙමින් පැවැත්වෙන මෙම සැසිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. පසුගිය දශක තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය අතිශය දුෂ්කරතා මධ්‍යයේ වුවද ජාත්‍යන්තර මට්ටමේ ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට සේවාවක් දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. රෝගී සත්කාරය, අධ්‍යාපනය, පර්යේෂණ සහ නවෝත්පාදන වෙනුවෙන් මෙරට ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් දක්වන කැපවීම ද මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.
“A Collaborative Approach to Neurosurgical Excellence in Sri Lanka” (ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා සහයෝගී ප්‍රවේශයක්) යන තේමාව යටතේ දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැත්විණි. ශ්‍රී ලංකා ස්නායු ශල්‍යවෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවති සැසිවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ආසිරි ශල්‍ය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ.
















