නව මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව සොයමින් සිටි පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා නව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්ත්වය අතරතුර මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තාගේ සමීපතමයෙකු වන මෙම සැකකරු, අස්මාන් විසින් පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇත. නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇතිවීමට දින තුනකට පෙර මොහු ඇප මත නිදහස් වී තිබේ.
විදෙස්ගතව සැඟව සිටින “කොස් මල්ලි” නම් අපරාධකරුගේ සමීපතමයෙකු වන මෙම සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, කොස් මල්ලි සමඟ සිදුකළ සංවාදවල හඬපට පොලිසිය විසින් සොයාගෙන ඇත. එම දුරකථන සංවාදවල බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුකර ඇති බවත්, ඔවුන්ට අනතුරක් සිදුකිරීමට සූදානම් වන බවට සඳහන්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.














