තේ කර්මාන්තය සහ ඒ ආශ්‍රිත සේවාවල නිරත ශ්‍රමිකයන්ගේ විශ්‍රාමික දිවිය වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් රුපියල් 25,000කට වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබාදීමේ නව වැඩසටහනක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. තේ කර්මාන්තය ශක්තිමත් කිරීමට දායක වන ශ්‍රමික ප්‍රජාවට ඔවුන්ගේ රැකියා කාලයෙන් පසුව ගෞරවනීය සහ ස්ථාවර ආර්ථික මට්ටමක් පවත්වාගෙන යාමට අවස්ථාව සැලසීම මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ මූලික අරමුණයි.
















