පලස්තීන රාජ්‍යය සඳහා අලුතින් පත් කරන ලද ශ්‍රී ලංකා නියෝජිත මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් මහතා, රමල්ලාහි පිහිටි ජනාධිපති මන්දිරයේදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas) මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ.
පසුගිය ජූනි 23 වනදා පැවැත්වුණු මෙම නිල උත්සවයේදී, නියෝජිත ෆවුසර් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පලස්තීන ජනාධිපතිවරයා වෙත පිරිනැමූ අතර, පලස්තීනය සමඟ පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළේය. පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය පළ කළ ඒ මහතා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවලට අනුකූලව 1967 දේශසීමා පදනම් කරගත් ද්වි-රාජ්‍ය විසඳුමකට (Two-state solution) ශ්‍රී ලංකාව සහය දෙන බව ද යළිත් ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී නව ශ්‍රී ලංකා නියෝජිතවරයාව උණුසුම් ලෙස පිළිගත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා, ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ දක්වන සහයෝගීතාවයට සිය ස්තූතිය පළ කළේය. එසේම ෆවුසර් මහතාගේ නිල කාලය තුළ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















