ජනතාව දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින පසුබිමක, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් අතිශය තීරණාත්මක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ලබන ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සංශෝධන රැසක් මෙයට ඇතුළත් වන අතර, එය ඔබ මෙතෙක් අඩු පිරිවැයකින් ලබාගත් සේවාවන් රැසක මිල ගණන් උඩුයටිකුරු කිරීමට සමත් වනු ඇත. විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයට බද්ධ වී ඇති ඩිජිටල් අවකාශයේ ගනුදෙනුවලට මෙමඟින් එල්ල වන බලපෑම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙම නව සංශෝධනයට අනුව මින් ඉදිරියට ඉලෙක්ට්‍රොනික වේදිකා (Digital Platforms) හරහා ඔබ ලබාගන්නා සියලුම සේවාවන් සඳහා වැට් බදු අයකිරීම අනිවාර්ය කර ඇති අතර, ඩිජිටල් සේවා ලියාපදිංචි කිරීම සහ බදු ගෙවීම සඳහා නව විධිවිධාන ද පනවා තිබේ. මීට අමතරව තවත් දැඩි පියවරක් ලෙස, මූල්‍ය සේවා මත පනවා තිබූ සියයට 18ක වැට් බද්ද සියයට 20.5 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සීමාවන් ද අඩු කිරීමට පියවර ගෙන ඇති බැවින්, මින් ඉදිරියට බදු දැලට හසුවන පිරිස තවදුරටත් පුළුල් වනු ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි.
මෙම ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ බැංකු සහ මූල්‍ය කටයුතුවල සිට අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇණවුම් දක්වා සෑම අංශයකම මිල ඉහළ යාමක් ජූලි මාසයේ සිට අපේක්ෂා කළ හැකිය. නිල වශයෙන් නිකුත් කර ඇති 1034180414-31-2026-S දරන මෙම ගැසට් පත්‍රය හරහා සිදුවන වෙනස්කම්, සාමාන්‍ය පාරිභෝගිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා සෑම තරාතිරමකම පුද්ගලයන්ට සෘජුවම බලපානු ඇත. ජීවන වියදම තවදුරටත් ඉහළ යන මේ වටපිටාව තුළ, මෙම බදු බරට මුහුණ දීමට සිදුවන ජනතාවට ඉතිරි වන්නේ “අතමිට හිඟ වන” අනාගතයක් පමණක්දැයි බොහෝ දෙනෙක් විමසා සිටිති.














