ගෝලීය වශයෙන් නැවතත් හිස ඔසවමින් පවතින බරපතළ ඊබෝලා වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා බලමින් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩා රජය කඩිනම් පියවර ගෙන තිබේ.
ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බලපැවැත්වෙන පරිදි අද (බදාදා) සිට ක්‍රියාත්මක වන පරිදි දින 90ක කාලයකට කැනඩාවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඊබෝලා වෛරසය කැනඩාවට ඇතුළුවීම සහ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම උපරිමයෙන් අවම කිරීම මෙම දැඩි තීරණයට හේතුව බව කැනඩා බලධාරීහු පවසති. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ‘Bundibugyo’ වර්ගයේ ඊබෝලා වෛරස් ප්‍රභේදය, ජාතික මට්ටමේ මාරාන්තික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම “ඉතා ඉහළ” මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පසුගියදා නිල වශයෙන් අනතුරු අඟවා තිබුණි.
කැනඩාවට අමතරව පසුගිය සතියේදී ඇමරිකා එක්සත් ජනපදය ද මෙම අප්‍රිකානු රටවල් තුනෙහි මෑතකදී සංචාරය කළ ඇමරිකානු නොවන පුරවැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත්, මෙම අවදානම් කලාපවල රැඳී සිට පැමිණෙන, රෝග ලක්ෂණ නොපෙන්වන කැනඩා පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට (PR) සහ අනෙකුත් විදේශීය වැසියන්ට මැයි 30 වනදා සිට දින 21ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට (Quarantine) ලක්වීමට සිදුවේ. මේ දක්වා ඇමරිකාව, කැනඩාව හෝ බහමාස් රාජ්‍යයෙන් කිසිදු ඊබෝලා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
















