ලොව පුරා මෙන්ම මෙරට තාරුණ්‍යය අතර ද අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) පරිශීලකයන් වෙනුවෙන් මෙටා (Meta) සමාගම විසින් අපූරු නවතම යාවත්කාලීන කිරීමක් (Update) හඳුන්වා දී තිබේ. ලොව පුරා බිලියන ගණනක සහ අසල්වැසි ඉන්දියාවේ පමණක් මිලියන 450කට අධික සක්‍රිය පරිශීලකයන් පිරිසක් භාවිත කරන ඉන්ස්ටග්‍රෑම්, නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් නව විශේෂාංග හඳුන්වා දීමට කටයුතු කරයි.
මුල් වකවානුවේදී හුදෙක් ඡායාරූප පමණක් හුවමාරු කරගත හැකි සරල යෙදුමක් (App) ලෙස ආරම්භ වූ ඉන්ස්ටග්‍රෑම්, පසුව වීඩියෝ සහ කෙටි වීඩියෝ අන්තර්ගතයන් වෙනුවෙන් ලොව ප්‍රමුඛතම තැනක් දිනා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම කලාපීය වශයෙන් ටික්ටොක් (TikTok) යෙදවුම තහනමට ලක්වීමත් සමඟ, ඊට විකල්පයක් ලෙස ඉන්ස්ටග්‍රෑම් විසින් හඳුන්වා දුන් “රීල්ස්” (Instagram Reels) විශේෂාංගය ලෝකයේම අවධානය දිනා ගනිමින් දැවැන්ත ජනප්‍රියත්වයක් අත්කර ගත්තේය.
මෙම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, පරිශීලකයන් දිනපතා භාවිත කරන “ස්ටෝරි” (Instagram Stories) විශේෂාංගයේදී සිදුවන වැරදීම් මඟහැරවා ගැනීම සඳහා මෙම සුපිරි අප්ඩේට් එක හඳුන්වා දී ඇත. බොහෝ විට අප නොදැනුවත්කමින් හෝ වැරදීමකින් වෙනත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් ස්ටෝරි ලෙස පළකිරීමෙන් (Post) පසුව දැඩි අපහසුතාවයට පත්වන අවස්ථා එමටය. මේ දක්වා ඊට තිබූ එකම විසඳුම වූයේ එය වහාම ‘ඩිලීට්’ (Delete) කිරීම පමණක් වුවද, මෙම නවතම විශේෂාංගය හරහා වැරදීමකින් දමන ලද ස්ටෝරි එකක් වුවද කිසිවෙකුට නොදැනෙන්නට ඉතා සූක්ෂ්ම ලෙස සකස් කිරීමට හෝ වෙනස් කිරීමට (Edit) පරිශීලකයන්ට අවස්ථාව හිමිවේ.
















