සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා සහ බෝගම්බර (පල්ලෙකැලේ) බන්ධනාගාරයේ දැනට රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අතර අතිශය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අනාවරණය කරගෙන තිබේ. විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන්නේ බන්ධනාගාරගතව සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු සහ මන්ත්‍රීවරයා අතර අවස්ථා 53කදී සෘජු දුරකථන ඇමතුම් හුවමාරු වී ඇති බවයි. මෙම තහවුරු කරගත් තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.
මෙම අතිශය සංවේදී දේශපාලන හා අපරාධමය හෙළිදරව්ව සිදුව ඇත්තේ අදාළ බන්ධනාගාරගත රැඳවියා සතුව රහසිගතව තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගැනීමත් සමඟය. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණු විමර්ශන යටතේ එම ජංගම දුරකථන උපාංගයේ අඩංගු දත්ත සහ ඇමතුම් වාර්තා (Call Data Records) සවිස්තරාත්මකව විශ්ලේෂණය කර තිබේ. එහිදී අදාළ සිම් පතෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ පෞද්ගලික දුරකථන අංකය වෙත දිගු කාලයක සිට ඇමතුම් ලබාගෙන ඇති බවත්, දෙදෙනා අතර සමීප සන්නිවේදනයක් පැවතී ඇති බවත් විද්‍යාත්මක සාක්ෂි ඇසුරින් අනාවරණය වී ඇති අතර මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු CIDය විසින් තවදුරටත් පුළුල් කර තිබේ.














