2021 – 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ මධ්‍යම පළාත් සභාවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගියදා රැස්විය.මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලිපි ගොනු විනාශ කිරීම සම්බන්ධයෙන් මීට පෙර ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වී නොමැති බවත්, අධිකරණ සහ ජනාධිපති ලේකම් නියෝග පවා බලධාරීන් නොසලකා හැර ඇති බවත් මෙහිදී අනාවරණය විය. අදාළ සියලු වාර්තා වහාම කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් බදු කොන්දේසි උල්ලංඝනය කරමින් තෙවන පාර්ශ්වයකට ලබාදීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් තීරණ ගත් නිලධාරීන් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙස සභාපතිවරයා නියම කළේය.
ආයතනවල සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, රාජ්‍ය ආයතනයක ලාභය රජයට හිමිවිය යුතු බවත්, ආදායම් යොදවන්නේ නම් ඒ සඳහා නිශ්චිත නීතිමය නිර්ණායක අනුගමනය කළ යුතු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධන කටයුතු, මගී ප්‍රවාහන සේවා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම කාරක සභා රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














