ලාඕසයේ සයිසොම්බූන් (Xaisomboun) පළාතේ ගුහාවක් තුළ සතියක පමණ කාලයක් සිරවී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ජීවතුන් අතර සිටියදී සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා ලාඕස සහ තායිලන්ත සහන කණ්ඩායම් එක්ව මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතී.ගුහාවෙන් මුදා ගත් පස් දෙනා සුබවාදීව සහ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේය. රන් සෙවීම සඳහා ගුහාවට ඇතුළු වූ ලාඕස ජාතිකයින් හත් දෙනෙකු පසුගිය සතියේ ඇති වූ අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් පිටතට පැමිණීමට නොහැකිව ගුහාව තුළ සිරවී සිටියහ.මෙම මෙහෙයුම සඳහා ඉරිදා දිනයේ සිට තායිලන්ත ස්වේච්ඡා සහන කණ්ඩායමක් එක් වූ අතර, 2018 වසරේ තායිලන්තයේ ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩායමක් මුදා ගැනීමේ මෙහෙයුමට දායක වූ කිමිදුම්කරුවෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.














