විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ සිදු කරන නිල සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ නිරත වූ පළමු නිල සංචාරය මෙය වන අතර, නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික මාවෝරි “පෝහිරි” (Pōwhiri) චාරිත්‍රානුකූල පිළිගැනීමක් අමාත්‍යවරයා වෙත හිමි විය.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා විසින් වෙලින්ටන් නුවර ප්‍රථම ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී. නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා සමඟ පැවති නිල සාකච්ඡාවලදී වෙළඳ, ආයෝජන, අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟතාව පළ විය. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන රාමුවක් (TIFA) පිළිබඳව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම කැමැත්ත පළ කර තිබේ. නවසීලන්ත වෙළඳ හා ආයෝජන අමාත්‍ය ටොඩ් මැක්ලේ මහතා පෙන්වා දුන්නේ මෙම TIFA ගිවිසුම මගින් ඉදිරි වසර 10 ඇතුළත අපනයන අගය දෙගුණ කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීමට ශක්තියක් වන බවයි.අමාත්‍ය හේරත් මහතා නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ජෙරී බ්‍රවුන්ලී මහතා සහ ක්‍රීඩා හා විශ්‍රාන්ති අමාත්‍ය මාර්ක් මිට්චෙල් මහතා හමුවී ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය. මෙහිදී ක්‍රිකට්, රග්බි ක්‍රීඩාව සහ 2027 වසරේදී යෙදෙන ක්‍රිකට් සබඳතාවල 100 වසරක සැමරුම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.එසේම, දෙරට අතර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීමට අදහස් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සංචාරක කර්මාන්තයට සහ විදේශ ප්‍රේෂණ සඳහා ගුවන් සබඳතා අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නවසීලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය විශේෂයෙන් අගය කළේය.














