ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් 1,343,202ක (රුපියල් මිලියන 400ක් පමණ) මූල්‍ය ප්‍රදානයක් පිරිනමා තිබේ. මෙය ජපාන රජයේ ‘Grassroots Human Security Projects’ වැඩසටහන යටතේ ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (27) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධාන වන MAG, HALO Trust සහ DASH යන ආයතනවල ප්‍රධානීන් අතර සිදුවිය.
මෙම නව ව්‍යාපෘතිය හරහා වර්ග මීටර් 400,000ක පමණ භූමි ප්‍රමාණයක් බිම්බෝම්බවලින් මුදා ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින් යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ 3,100කට අධික පිරිසකට සිය මුල් ඉඩම් වෙත යළි පදිංචියට යාමටත්, අවට ප්‍රදේශවල 22,000කට ආසන්න ජනතාවකට බියෙන් සැකෙන් තොරව තම ජීවනෝපාය කටයුතු සිදුකර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
2002 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ලබා දී ඇති සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 49 ඉක්මවයි.














