ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට 2027 වසර පත් කරමින්, ඒ සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රුපියල් මිලියන 1,744.85ක වියදමින් ඉදිවන මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීන රංග ශාලාවක්, සාප්පු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක් සහ රථ වාහන අංගණයකින් සමන්විත වන අතර, එය 2028 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග, පාලම්, ඇළවේලි සහ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් පමණක් 2026 වසරට රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. වෙන් කරන ලද ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස වැය කර ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ඔහු අවධාරණය කළා. ඇතැම් ව්‍යාපෘති නිසි කලට නිම නොකිරීම හේතුවෙන් මුල් ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් වියදම් දැරීමට සිදුවී ඇති බවත්, මින් ඉදිරියට එවැනි අකාර්යක්ෂමතා වළක්වා ගත යුතු බවත් ඔහු පැවසුවා.
භාණ්ඩාගාරයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, 2022-2023 කාලසීමාවේදී ණය මත ක්‍රියාත්මක වූ භාණ්ඩාගාරය අද වන විට ධන තැන්පතුවක් සහිත ශක්තිමත් මට්ටමකට පැමිණ ඇති බවයි. ග්‍රාමීය ජනතාවගේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජයට හැකි වී ඇත්තේ මෙම මූල්‍ය විනය නිසාවෙනි. පසුගියදා සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් හමුවී අවශ්‍යතාවන් හඳුනා ගත් අතර, එම සංවර්ධන වැඩසටහන් සඳහා ලබන අය-වැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.














