IPL 2026 තරගාවලිය පුරා දැඩි විවේචනයට ලක් වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියන් පරාග් වෙනුවෙන් කුමාර් සංගක්කාර සිය සහාය පළ කර තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 30ක ජයක් ලැබීමෙන් පසු සංගක්කාර මේ බව සඳහන් කළා.
පසුගිය වසර හතක කාලය තුළ රියන් පරාග් තරම් විවේචනයට ලක් වූ ක්‍රීඩකයින් ඉතා අල්ප බවත්, ඔහු කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට ගත් තීරණය ඉතා නිවැරදි බවත් සංගක්කාර වැඩිදුරටත් අවධාරණය කළා. 24 හැවිරිදි වියේ පසුවන පරාග් සිය පළමු නායකත්ව වාරය තුළ මේ දක්වා තරගාවලියේ ලකුණු 272ක් වාර්තා කරගෙන ඇත්තේ 152.80ක ප්‍රහාරක වේගයකින්.
කණ්ඩායමේ නායකත්වයට අමතරව, තරගයේදී ජොෆ්රා ආචර්ව විශේෂඥ පිතිකරුවෙකු වන ශුභම් දුබේට පෙර පිටියට එවීමේ උපක්‍රමය ද සංගක්කාර ආරක්ෂා කළා. එය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ගත් පියවරක් බව ඔහු පැහැදිලි කළා. එමෙන්ම, රවීන්ද්‍ර ජඩේජා ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුව ‘ඉම්පැක්ට් ප්ලේයර්’ (Impact Player) ලෙස යොදා ගැනීම ප්‍රවේශමෙන් කළ යුතු බව ද සංගක්කාර සඳහන් කළා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ වසර තුනක් තුළ දෙවන වරටත් IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට (Playoffs) සුදුසුකම් ලබා ගත්තා.














