ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) ලබාගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී වරුසවිතාන පෙරේදා (25) නියෝග කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත පසුවන ශෂී වීරවංශ මහත්මිය විවෘත අධිකරණයේ පෙනී සිටියාය.
මෙහිදී සාක්ෂි මෙහෙයවීමට පෙර, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව අවශ්‍ය බව ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සාක්ෂි ආඥා පනත යටතේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, විත්තිය පවසන ලේඛන පරිගණකයෙන් නිර්මාණය කළ ඒවා නොවන බවත්, අදාළ ලේඛන ස්කෑන් කර දත්ත පද්ධතියේ ගබඩා කර තැබීමක් පමණක් සිදුකර ඇති බවත්ය. කෙසේ වෙතත්, විත්තිය ඉල්ලා සිටින පරිදි අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය අධිකරණයට භාරදෙන බව ද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළ අතර, ඒ අනුව නඩුව ජූලි 24 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














