පසුගිය වසරේ (2025) නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ හානි හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය හතරක් මාස හයක කාලයක් තිස්සේ ගාල් වී තිබේ.
දිට්වා කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් පේරාදෙණිය – නුවර දුම්රිය මාර්ගයේ පිහිටි කළු පාලමට බරපතළ හානි සිදුවිය. මෙම ඉපැරණි යකඩ පාලම යථා තත්ත්වයට පත් කරන තෙක් මහනුවර සිට කොළඹ සහ උඩරට බලා දුම්රිය ධාවනය කිරීමට නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් සාමාන්‍යයෙන් දහස් ගණනක් මගීන් ගැවසෙන මහනුවර දුම්රිය ස්ථානය මේ වන විට ජනශූන්‍ය වී පාළුවට ගොස් ඇති අතර, රාජ්‍ය සේවකයන්, සිසුන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව වෘත්තීය සමිති අවධාරණය කරයි.














