අමෙරිකානු රජය සමඟ ආගමන විගමන නීති ක්‍රියාත්මක කිරීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන ප්‍රධාන නගරවල (Sanctuary Cities) පිහිටි ගුවන් තොටුපොළවල ජාත්‍යන්තර මගීන් සහ භාණ්ඩ සැකසීමේ කටයුතු නතර කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය සැලසුම් කරමින් සිටින බව අමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම් මාක්වේන් මුලින් පවසයි.
මෙම පියවර ක්‍රියාත්මක වුවහොත්, ලබන මාසයේ ආරම්භ වීමට නියමිත ෆිෆා ලෝක කුසලානය සඳහා පැමිණෙන මිලියන සංඛ්‍යාත සංචාරකයින්ට ද බලපෑම් එල්ල විය හැකි අතර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රාන්තවල ප්‍රධාන ගුවන් තොටුපොළවල ජාත්‍යන්තර ගුවන් ගමන් සහ වෙළෙඳ කටයුතු ඇනහිටිය හැකි බව වාර්තා වේ.
ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ෆොක්ස් නිවුස් නාළිකාවේ වැඩසටහනකදීය. ඔහු පෙන්වා දෙන්නේ එම නගරවල පාලනාධිකාරීන් ෆෙඩරල් නීති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බැවින්, ජාත්‍යන්තර ගුවන් ගමන් එම නගරවලට සැකසීම නුසුදුසු බවයි. තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, මේ සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













