සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) නවදිල්ලි නුවරදී පැවැත්වුණි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම සංචාරයට එක්ව සිටින රූබියෝ මහතා, අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාවයට අමතරව, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව, සාමය පවත්වා ගැනීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඉන්දීය සංචාරය ආරම්භ කරමින් පළමුව කොල්කටා නුවරට පැමිණි රාජ්‍ය ලේකම්වරයා, නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව, ඉදිරියේදී ජයිපූර් සහ අග්‍රා නගරවල ද නිල සංචාරයන්හි නිරත වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරයි.














