පාණදුර පොහොට්ටු රැලියේදී නාමල් රාජපක්ෂ මහතා විසින් පිල්ලෙයාන් හමුවූ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමත් සමඟ, පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ සහ පසුගිය කාලයේ සිදුවූ දේශපාලන ඝාතනවල සැබෑ දේශපාලන හස්තය රාජපක්ෂ කඳවුර බව මතුකර ගැනීම අපහසු නොවන බව ජන බලය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික විදර්ශන කන්නන්ගර මහතා පවසයි.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අසාත් මවුලානාගේ ප්‍රකාශ ලීක් වනතුරු නිහඬව සිටි නාමල් රාජපක්ෂ මහතාට, ඉදිරියේදී කිත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතන සම්බන්ධයෙන් ද මෙලෙසම ඇත්ත පැවසීමට සිදුවන බවයි. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සලේ නම්, ඔහු පිටුපස සිටිමින් දේශපාලන මඟපෙන්වීම කළේ මහින්ද, බැසිල්, ගෝඨාභය සහ නාමල් ඇතුළු රාජපක්ෂවරුන් බවත්, හමුදා බුද්ධි අංශ හරහා පිල්ලෙයාන්ලාගේ කල්ලියට වැටුප් ගෙවා ඇති බවත් ඔහු චෝදනා කළේය. මේ නිසා ජනතාව මුලා කරමින් වහසි බස් දොඩන මෙම දේශපාලන කල්ලිය වහාම සිරගත කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
ආණ්ඩුවේ උදාසීනකම සහ ප්‍රගතිශීලී බලවේගවල අතෘප්තිය:
මෙහිදී අදහස් දැක්වූ ජන බලය ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් වන රංගන ආරියදාස සහ ආචාර්ය ගීතිකා ධර්මසිංහ යන මහත්ම මහත්මීන් පෙන්වා දුන්නේ, දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ වූ අටමස්ථානාධිපතිවරයාට ඇප දීමේදී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලීසිය දැක්වූ උදාසීනත්වය හේතුවෙන් ආණ්ඩුව ආගමික බලපෑම්වලට යටවී ඇති බව පැහැදිලි වන බවයි. අරගලය හරහා වත්මන් ආණ්ඩුව බලයට පත්කළ ප්‍රගතිශීලී බලවේග මේ වන විට ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා අතෘප්තියට පත්ව සිටින බවත්, ප්‍රගතිශීලී ජනතාව ආණ්ඩුව අත්හැරියහොත් වත්මන් පාලනය ද බිඳ වැටෙනු ඇති බවත් ඔවුහු අනතුරු ඇඟවූහ. කෙසේ වෙතත්, විපක්ෂයෙන් සහනයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ආණ්ඩුව ශක්තිමත් කරමින් ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට බලකරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
















