බ්‍රසීල දේශීය ලීගයේ සන්ටෝස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයකට ලක් වූ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ට, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග මෙන්ම බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ද අහිමි වන බව බ්‍රසීල පාපන්දු සම්මේලනය (CBF) නිල වශයෙන් තහවුරු කර තිබේ. සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ෂණ මඟින් ඔහුගේ දකුණු කෙණ්ඩා ප්‍රදේශයේ දෙවන පෙළේ ආබාධයක් (grade-two calf injury) පවතින බව හඳුනාගෙන ඇත.
මේ හේතුවෙන් 34 හැවිරිදි මෙම ඉදිරිපෙළ ක්‍රීඩකයාට තවත් සති දෙකත් තුනත් අතර කාලයක් තරග බිමෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවන බව බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද යන්න පිළිබඳව වෛද්‍යවරයා මෙතෙක් ස්ථිර ප්‍රකාශයක් කර නැත. මෙම රෝග විනිශ්චය සන්ටෝස් ක්‍රීඩා සමාජයේ වෛද්‍යවරුන් මුලින් ප්‍රකාශ කළ සාමාන්‍ය ඉදිමීමේ තත්ත්වයට වඩා වෙනස් වූවක් බව ද විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, නේමාර් හට ලබන ඉරිදා පැනමාවට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගය සහ ඉන් අනතුරුව පැවැත්වෙන ඊජිප්තු තරගය මඟ හැරෙනු ඇත. එමෙන්ම ජුනි 13 වැනිදා නිව් ජර්සි හිදී මොරොක්කෝවට එරෙහිව පැවැත්වෙන බ්‍රසීලයේ ලෝක කුසලාන සමාරම්භක තරඟයට ද ඔහු ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් අවම බව සඳහන් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලය ‘C’ කාණ්ඩය යටතේ හයිටි සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය. දැඩි අවිනිශ්චිතතාවකින් අනතුරුව කණ්ඩායම සමග එක් වූ නේමාර් සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු කාර්ලෝ අන්සලොට්ටි මීට පෙර පවසා තිබුණේ, ඔහුගේ ජනප්‍රියත්වය මත නොව ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාවය මත පමණක් සංචිතයේ ඉඩ වෙන්වන බවයි. කෙසේ නමුත් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බ්‍රසීල කණ්ඩායමට සිය සුපිරි තරුව නොමැතිව ඉදිරි සැලසුම් සකස් කිරීමට සිදුව තිබේ.

