නයිජීරියාවේ මධ්‍යම බෙනුඒ (Benue) ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයකට පෙනී සිටීම සඳහා යමින් සිටි ද්විතීයික පාසල් සිසුන් පිරිසක් සහ තවත් සංචාරකයන් කිහිපදෙනෙකු සන්නද්ධ තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති. මෙය මෙම වසරේ වාර්තා වූ පළමු ශිෂ්‍ය පැහැරගැනීම ලෙස සැලකේ.
පැහැරගැනීම සිදුව ඇත්තේ මාකුර්ඩි-ඔටුක්පෝ (Makurdi–Otukpo) මාර්ගයේදී බව බෙනුඒ ප්‍රාන්ත ආණ්ඩුකාර හයසින්ත් අලියා (Hyacinth Alia) තහවුරු කළේය. පැහැරගත් පිරිසගේ නිශ්චිත සංඛ්‍යාව රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත්, සිසුන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ආණ්ඩුකාරවරයා මෙම පැහැරගැනීම “බියගුලු ක්‍රියාවක්” ලෙස හඳුන්වා දුන් අතර, විභාගයකට පෙනී සිටීමට යන අහිංසක සිසුන් ඉලක්ක කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අවධාරණය කළේය. අතුරුදන් වූවන් සෙවීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර ඇත.
නයිජීරියාවේ සන්නද්ධ කල්ලි සහ ඉස්ලාමීය සටන්කාමීන් විසින් මගීන්, පාසල් සිසුන් සහ ග්‍රාමීය ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෙවැනි පැහැරගැනීම් සිදු කිරීම නිරන්තරයෙන් වාර්තා වේ. මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
නිරන්තරයෙන් සිදුවන මෙම සමූහ පැහැරගැනීම් හේතුවෙන් නයිජීරියාවේ අධ්‍යාපනය, වෙළෙඳාම සහ ගමනාගමනය දැඩි ලෙස අඩාල වී ඇති අතර, රජය විසින් ලබාදෙන ආරක්ෂක පොරොන්දු පිළිබඳව මහජනතාව දැඩි කලකිරීමෙන් පසුවෙති.














