27 April 2024
#සංවර්ධන

වසර 6ක් ක්‍රියාත්මක නොවූ නියංගොඩ සළුසලට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පණ ගැන්වේ 

වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත නියංගොඩ සළුසල මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කැබිනට් තීන්දු කිහිපයක් ගෙන තිබුනත්, එම මධ්‍යස්ථානය නැවත ක්‍රියාත්මක කිරීමට නොහැකි ව පැවති අතර, මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් එම මධ්‍යස්ථානය යළි භාවිතයට ගැනීමට කටයුතු කර ඇත.

එය ලංකා සළුසල හා අනුබද්ධ ආයතනයක් ලෙස ජනඅයිතියට පත්කිරීම මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමීන්වහන්සේ, ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දර්ශනපති කහගල සීලනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කර සිටියේ, සියලු අංශ සමග ඒකබද්ධ වෙමින්, නම්‍යශීලි ලෙස කටයුතු කිරීම මගින් මෙම ආයතනය අඩු පිරිවැයක් දරමින්, කඩිනමින් මෙම පේශකර්ම මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකියාව ලැබූ බවයි. “අපේ කම” රැකගෙන කටයුතු කරන්නේනම්, දේශීය නිෂ්පාදන සදහා ඉහල අගයක් ලබාගත හැකි බවත්, ජීවත් වන මහපොලොවට ආදරය නොකරනතාක්, රට දියුණු කිරීමට අපහසු බවත්, ලෝකයේ දියුණු රාජ්‍යයන් එලෙස දියුණුවිමට ප්‍රධානතම සාධකය සිය රටට හිතැතිව කටයුතු කිරීම බවත්, ඉන්දුනීසියාවේ තමා සේවය කරන කාලයේ සිකුරාදා දිනය තුළ රාජ්‍ය සේවකයින් දේශීය ඇදුම් භාවිතා කිරීමේ ඉන්දුනීසියානු රජය ගත් පියවර එරට දේශීය ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගමනයට හේතු වූ බවත් පේෂකර්මය තුළ රටේ අනන්‍යතාව තහවුරු කරන අතරම විදේශීය විනිමය ඉපයීම සදහා හොඳ උපාය මාර්ගයක් ලෙස හදුනාගත හැකි බවත් නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය ඒ සදහා හොඳ උදාහරණයක් වනු ඇති බවත් එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම තමන් සිදුකරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයින්, ලංකා සළුසල ආයතනයේ සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්ය නිලධාරීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *