නොච්චියාගම පොලිස් වසමට අයත් කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. ඊයේ (09) අළුයම් කාලයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, මියගොස් ඇත්තේ කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා කරතිව්හි පිහිටි වගා සමාගමකට අයත් කජු වත්තක කජු ඇහිදීමට ගොස් සිටියදී එහි මුරකරුවන්ට හසුවී ඇත. ඔවුන් විසින් එම පුද්ගලයාට පහරදී, වායු රයිෆල් (Air Rifles) අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම වත්තේ මුරකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී වායු රයිෆල් අවි 04ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන ඒත්තුකඩේ, පුත්තලම, කල්පිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















