ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් රජයට රුපියල් බිලියන 4.5කට අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.
බාල ගල් අඟුරු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරයට එහි සම්පූර්ණ විදුලි ධාරිතාව සැපයීමට නොහැකි වී ඇති අතර, එම අඩුව පියවා ගැනීම සඳහා අධික පිරිවැයක් සහිත කෙරවලපිටිය ‘සොබාදනවි’ ඩීසල් බලාගාරය ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා රටට මෙම දැවැන්ත මූල්‍ය පාඩුව සිදුව ඇත. මෙම ගනුදෙනුවේදී මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳවද කොමිසමේදී දැඩි ප්‍රශ්න කිරීම් සිදුවිය. ගල් අඟුරු තොග මෙරටට පැමිණ ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් පෙර, පැටවුම් වරායේ රසායනාගාර වාර්තා පමණක් පදනම් කරගෙන මුළු මුදලින් 80%ක්ම අදාළ සමාගමට ගෙවා දමා ඇති බව විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා හෙළි කළේය. මෙරටදී සිදුකරන පරීක්ෂණ වාර්තා මත ගෙවීමට ඉතිරි කර ඇත්තේ 20%ක වැනි සුළු මුදලකි.
පැටවුම් වරායේ වාර්තා සහ මෙරටදී සිදුකළ පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, ‘Bureau Veritas’ නම් ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනය ලබා දුන් වාර්තා සහ නොරොච්චෝල බලාගාරය මඟින් සිදු කළ දේශීය පරීක්ෂණ වාර්තාවල සඳහන් ගල් අඟුරු ප්‍රමිතිය සමාන වන බව කොමිසමේදී වැඩිදුරටත් සනාථ වී තිබේ. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට මෙන්ම සාමාන්‍ය මහජනතාවටද ඉතා විශාල මූල්‍යමය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇත.














