මෙරට ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන ධාරිතාව රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී අවම මට්ටමකට ඇද වැටී ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි. ගල් අඟුරු සැපයුමේ පවතින අවහිරතා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
පසුගිය සැප්තැම්බර් 02 වන බදාදා දිනට අදාළ විදුලි උත්පාදන දත්තවලට අනුව, රාත්‍රී 7:00 වන විට මෙරට සමස්ත විදුලි ඉල්ලුම මෙගාවොට් 2,924.7 ක් ලෙස වාර්තා වී තිබූ අතර, එහිදී මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවකින් යුත් නොරොච්චෝල බලාගාරයෙන් පද්ධතියට එක් කර ඇත්තේ මෙගාවොට් 357ක අවම ධාරිතාවකි. ගල් අඟුරු මගින් විදුලිය උත්පාදනය අඩාල වීම නිසා එම හිඩැස පියවීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන ඩීසල් සහ දැවි තෙල් බලාගාර මගින් මෙගාවොට් 960.5 ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.
ගල් අඟුරු හෝ ජල විදුලියට සාපේක්ෂව ඩීසල් මගින් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය කිහිප ගුණයකින් ඉහළ අගයක් ගන්නා බැවින්, මෙලෙස දිගින් දිගටම තාප විදුලිය මත යැපීම විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට සහ පාරිභෝගික විදුලි ගාස්තු කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන කරුණක් බව වාර්තා වේ.














