දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන “බොම්” (Bom) නමැති 16 හැවිරිදි මුහුදු සිංහයා පිළිකා රෝගයක් වෙනුවෙන් සිදුකළ විශේෂ ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව සුවය ලබමින් පසුවන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතා නිවේදනය කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවූ තුවාලයක් හේතුවෙන් පීඩා වින්ද මෙම මුහුදු සිංහයා පරික්ෂා කළ පශු වෛද්‍ය කණ්ඩායම එය පිළිකා තත්ත්වයක් බව හඳුනාගෙන තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයන්හිදී සතුන් නිද්‍රා ගැන්වීම (Euthanasia) සිදු කළද, දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්, දේශීය-විදේශීය විශේෂඥයන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් එක්ව මෙම අවදානම් සහිත ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කර ඇත. මාස දෙකකට පමණ පෙර දෙහිවල සත්වෝද්‍යාන රෝහලේදී සාර්ථකව සිදුකළ මෙම ශල්‍යකර්මයෙන් පසු මුහුදු සිංහයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, සම්පූර්ණ සුවය ලැබූ පසු නැවත මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය.














