හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යනතුරු ජාතික විදුලිබල පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 810ක ජනන ධාරිතාවක් පද්ධතියට අහිමි වන අතර, පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන පරිදි විදුලි සැපයුම කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම සඳහන් කරයි.
ඊයේ (17) පෙරවරු 11.43ට පමණ ජනන යන්ත්රයක් ජාතික විදුලිබල පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ ඇති වූ අසමතුලිතතාව හේතුවෙන් තත්පර 30කට අඩු කාලයකදී දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදුවිය. පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, පස්වරු 3.00 පමණ වන විට රෝහල්, ජල පවිත්රාගාර සහ ගුවන් තොටුපළ ඇතුළු අත්යවශ්ය සේවාවන්ට විදුලිය ලබා දීමටත්, පස්වරු 5.00 වන විට සියලු ග්රිඩ් උපපොළවලට විදුලි සැපයුම ලබා දීමටත් පියවර ගෙන තිබේ.
පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම සහ විදුලි ඉල්ලුම සාපේක්ෂව අඩුවීමේ ප්රවණතාව හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සැපයුමට වන බලපෑම අවම කිරීමට අපේක්ෂා කරන බව සමාගම පවසයි. කෙසේ වෙතත්, ජනන යන්ත්රයක් හදිසියේ පද්ධතියෙන් විසන්ධි වීම සාමාන්ය ආරක්ෂක ක්රියාවලියක් වුවද, එමඟින් සමස්ත විදුලිබල පද්ධතියම බිඳවැටීම සාමාන්ය තත්ත්වයක් නොවන බව පෙන්වා දෙන එම සමාගම, බිඳවැටීමට හේතු වූ සිද්ධි දාමය හඳුනා ගැනීම සඳහා අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.














