රටේ අවශ්යතාවන්ට ගැළපෙන ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්යාත්මක උපදේශන සේවාවක් ස්ථාපිත කිරීම අත්යවශ්ය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව එම අමාත්යාංශයේ උපදේශන අංශය සංවිධානය කළ මනෝවිද්යාත්මක උපදේශන වැඩමුළුවට පසුගිය 16 වැනිදා එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
රාජ්ය, පෞද්ගලික, ස්වේච්ඡා හා ආගමික අංශ මඟින් පවත්වාගෙන යන සියලු උපදේශන සේවාවන් සඳහා පිළිගත් ප්රමිතීන් සහ පොදු ආචාරධර්ම පද්ධතියක් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව ද අමාත්යවරයා අවධාරණය කළේය. බෞද්ධ මනෝවිද්යාත්මක උපදේශනය ඇතුළු දේශීය හා ආගමික දැනුම් පද්ධතීන් උපදේශන සේවා සමඟ ඒකාබද්ධ කිරීමත්, උපදේශකවරුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමත් එහිදී අවධාරණය කෙරිණි.
සෞඛ්ය අමාත්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්යාල ඇතුළු ආයතන සම්බන්ධ කරගනිමින් පුළුල් ජාතික වැඩපිළිවෙළක් යටතේ උපදේශන සේවා ක්රියාත්මක කිරීමේ අවශ්යතාව ද මෙහිදී පෙන්වා දී තිබේ. “ජීවිත අත්දැකීම්වලට සවන්දෙමු – සැබෑ හඬින් සැබෑ වෙනසක් ඇති කරමු” යන තේමාව යටතේ පැවැති වැඩසටහනේදී චිත්ර තරග සහ කෙටි චිත්රපට තරග ජයග්රාහකයන්ට ත්යාග හා සහතිකපත් ප්රදානය කිරීම ද සිදු කෙරිණි.














