උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදන ධාරිතාව වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) මහතා ප්‍රකාශ කළේය. සෝල් නුවරදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ උතුරු කොරියාවේ ‘යොන්ග්බියොන්’ (Yongbyon) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ මෙහෙයුම් මෙන්ම අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව සිය නිරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි.
මෙම තත්ත්වය ඉතා බැරෑරුම් එකක් වන අතර, මේ වන විට උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික යුධ හිස් (Warheads) දස කිහිපයක් පවතින බවට ඇස්තමේන්තු කර තිබේ. උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බාධක රැසක් පනවා තිබුණද, ඔවුන්ගේ තහනම් ආයුධ වැඩසටහන් අඛණ්ඩව සහ වේගවත්ව ඉදිරියට ගෙන යන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නවතම තක්සේරුව මගින් තහවුරු වේ.














