බල්ගේරියාවේ ස්පා සහ සුවතා සංචාරක ක්ෂේත්‍රය වසරක් ඇතුළත 15% ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව එරට සංචාරක අමාත්‍යාංශය පවසයි. වර්තමානයේ පවතින දැඩි කාර්යබහුල ජීවන රටාවෙන් මිදී විවේකය සහ සුවය අපේක්ෂා කරන සංචාරකයින් සඳහා යුරෝපයේ වඩාත් ආකර්ෂණීය ගමනාන්තය බවට බල්ගේරියාව පත්වෙමින් තිබේ.
සුව කිරීමේ ගුණයෙන් යුත් ඛනිජ දිය උල්පත් 700කට අධික සංඛ්‍යාවක් බල්ගේරියාව සතුව පවතින අතර, සෝෆියා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි ‘වෙලින්ග්‍රෑඩ්’ (Velingrad) නගරය බෝල්කන් කලාපයේ ස්පා අගනුවර ලෙස සැලකේ. රුධිර පීඩනය, ශ්වසන සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සඳහා මෙම ඛනිජ දිය උල්පත් මහඟු ඖෂධයක් බව විශ්වාස කෙරේ. බල්ගේරියාවේ මෙම සුවතා සංචාරක ප්‍රබෝධයත් සමඟ එරට සංචාරක ක්ෂේත්‍රය මුහුදු වෙරළට පමණක් සීමා නොවී වසර පුරා ක්‍රියාත්මක වන සුඛෝපභෝගී සේවාවක් දක්වා වර්ධනය වී තිබේ.














