2025 වසරේ ජනාධිපති අරමුදලේ සේවා කටයුතු කාර්යක්ෂමව සිදුකළ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් ඇගයීමට ලක්කර තිබේ.
“මෙහෙවර පැසසුම්” වැඩසටහන යටතේ මෙම ඇගයීම සිදුකර ඇති අතර, ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමෙන් ජනතාවට වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ. ජනාධිපති අරමුදලේ සේවා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම පිළිබඳව නිල වාර්තාවලද සඳහන් වේ.
යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහෙන් අයදුම්පත් ලැබීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ඇතුළු කරුණු සලකා බලා එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුන බැගින් තෝරාගෙන තිබේ.
ඒ අනුව යාපනයේ නල්ලූර්, චාවකච්චේරි සහ වලිකාමම් නැගෙනහිර ද, කිලිනොච්චියේ කිලිනොච්චි, පූනකරි සහ පච්චිලිප්පලි ද, මන්නාරමේ නානාද්දන්, මන්නාරම නගරය සහ මාන්තෛ බටහිර ද, මුලතිව්හි මුහුදුබඩපත්තුව, ඔඩ්ඩුසුඩාන් සහ මාන්තෛ නැගෙනහිර ද, වව්නියාවේ වව්නියාව, වව්නියාව උතුර සහ වෙන්ගලචෙඩ්ඩිකුලම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙලෙස ඇගයීමට ලක්කර ඇත.
මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා, දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















