යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී අද (27) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එක් සැකකරුවෙකු සහ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කර ඇති පරිදි, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් කිලෝග්‍රෑම් 35.7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක් තිබී ඇති අතර, සමස්ත ප්‍රමාණය කිලෝග්‍රෑම් 81.2ක් පමණ වේ. මෙහෙයුම ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ කණ්ඩායම විසින් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු, මත්ද්‍රව්‍ය සහ යාත්‍රාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්ද අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳ හඳුනාගැනීම සිදුකර තිබේ.
මේ අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වන බවයි. එමෙන්ම නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
















