නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සභා රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ මාසික සභා රැස්වීම ඝණ පූර්ණයක් නොමැති වීම නිසා මෙම මස 21 වන දින දක්වා කල් තබා ඇත.
සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනාගෙන් 19 දෙනෙකු අද උදෑසන සභාවට පැමිණ නාමලේඛණයේ අත්සන් තබා තිබුණ ද, ඔවුන් කිසිවෙකුත් සභා ශාලාවට ඇතුළු නොවී සභාපතිවරයාට එරෙහිව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.මෙහිදී මන්ත්‍රී බන්ධුසිරි රණවීර මහතා ඇතුළු විරෝධතාවයට එක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ, සභාපතිවරයා මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක නොකරන බවත්, වසරක කාලයක් තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කර නොමැති බවත්ය.මෙම චෝදනා සම්බන්ධයෙන් සභාපති ෆ්‍රැන්සිස් ඇලන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, සභාවේ ඝණ පූර්ණයක් නොමැති වීම නිසා රැස්වීම කල් දැමූ බවත්, මන්ත්‍රීවරුන් තමා සම්බන්ධයෙන් ගෙන එන චෝදනා පදනම් විරහිත බවත්ය.
















