මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) පස්වරුවේ රෝහල වෙත පැමිණ තිබේ.
අමාත්‍යවරයා එහිදී 72 සහ 79 වාට්ටු මෙන්ම දැඩි සත්කාර ඒකක වෙත ගොස් රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කළ අතර, ඔවුන්ට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් සහ ඉදිරි පියවරයන් පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සහ බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.දැනට කොළඹ ජාතික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකු සහ රැඳවියන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, තවත් පිරිසක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත. එමෙන්ම මියගිය අයගේ මරණ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ද පත් කර තිබේ.රැඳවියන් මාරු කිරීම: ගැටුමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
















