රජයක් පිහිටුවා පාර්ලිමේන්තුවේ 159ක දැවැන්ත බහුතර බලයක් සහ ජනාධිපති ධුරය මෙන්ම ප්‍රාදේශීය බලය ලබාගෙන තිබියදීත්, ජාතික ජන බලවේගය (NPP) තවදුරටත් ප්‍රසිද්ධ රැලී පවත්වන්නේ මන්දැයි මතුවන කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර ඇත්තේ තවමත් තමන්ට හිමි වී ඇත්තේ ‘පාලන බලය’ (governing power) පමණක් බවත්, සැබෑ ‘රාජ්‍ය බලය’ (state power) තවමත් තමන් සතු වී නොමැති බවත්ය.
ජාතික ජන බලවේගයේ රැලියක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය බලය යනු ඡන්දයකින් ක්ෂණිකව ලබාගත හැකි දෙයක් නොවන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය හරහා ක්‍රමයෙන් ගොඩනැඟිය යුත්තක් බවත්ය. ඉතිහාසයේ ප්‍රචණ්ඩකාරී ක්‍රම මඟින් ආණ්ඩු සහ රාජ්‍ය බලය අල්ලා ගැනීමට කටයුතු කළද, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් හරහා පාලන බලය මෙන්ම රාජ්‍ය බලයද එකවර දිනා ගැනීමට කටයුතු කරන එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය වන බව ඔහු අවධාරණය කළේය.
මෙම ප්රජාතන්ත්රවාදී පරිවර්තනය සහ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ලෝකයට අනාවරණය කිරීමේ අරමුණින් අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් පවත්වන බව හෙතෙම සඳහන් කළේය. මැතිවරණ ජයග්‍රහණයකින් පසුවද දේශපාලන රැලී පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් මෙන්ම විවිධ පාර්ශ්වවලින් නිරන්තරයෙන් නැඟෙන විවේචන හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක් වී තිබේ.
















